කෙහෙළියට එරෙහි නඩුවේ මූලික විරෝධතා සම්බන්ධ නියෝගය ලබන 16දා - Susanda Media Network With Web Radio

Susanda Media Network With Web Radio

සුසඳ පුවත් පත සහ වෙබ් ගුවන් විදුලිය සමගින් සයිබර් අවකාශය සිසරා ඔබේ හදවතට

උණුසුම් පුවත්

radio

Post Top Ad

Wednesday, January 31, 2024

කෙහෙළියට එරෙහි නඩුවේ මූලික විරෝධතා සම්බන්ධ නියෝගය ලබන 16දා


ජනමාධ්‍ය ඇමැතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය පෞද්ගලික ජංගම දුරකතන බිල රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදල්වලින් ගෙවීමෙන් රජයට පාඩුවක් සිදු කළ බවට පරිසර ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවේ මූලික විරෝධතා සම්බන්ධ නියෝගය ලබන 16දා නිකුත් කිරීමට කොළඹ මහාධිකරණය දින නියම කළේය.

නඩුව ඊයේ (31දා) කැඳවූ අවස්ථාවේ කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා මෙම නියෝගය කළේය.

2011 ඔක්තෝම්බර් 13 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට අයත් රුපියල් දෙලක්ෂ තිස්දහස් නවසීය අසූහතරයි ශත හතළිස් පහක් යොදා සිය පෞද්ගලික දුරකතන බිල ගෙවීමට එම සංස්ථාවේ සභාපතිවරයා පෙලඹවීම සහ එකී දුරකතන බිල ගෙවීම ඇතුළු චෝදනා යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් එම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර නඩු පවරා තිබේ.

නඩුව විභාගයට ගත් අවස්ථාවේ දෙවැනි චුදිත කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා ලිඛිත මූලික විරෝධතා දක්වමින් විත්තියේ දේශනය කළේය. අල්ලස් පනතේ 168 වැනි වගන්තිය යටතේ නඩු පැවරීමකදී කොමිසමේ සියලු සාමාජිකයන්ගේ අනුමැතිය අවශ්‍යය බව කියා සිටින ලදි.

අල්ලස් හෝ දූෂණ කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂිකා බී.ආර්.අනුරාධා ජයසිංහ මහත්මිය පැමිණිල්ලේ දේශනය කරමින් 1994 අංක 19 දරන අල්ලස් පනත මඟින් කොමිසමට විමර්ශන හා නඩු පැවරීමේ බලය පවරා ඇති බව කියා සිටින ලදි. එමෙන්ම මෑතකදී අභියාචනාධිකරණයදී ඇති නඩු තීන්දු දෙකකට අනුව නඩු පැවරීම සඳහා සියලුම සාමාජිකයන්ගේ අනුමැතිය අවශ්‍යය නොවන බව කියා සිටියාය.

අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයට අනුව නඩු පැවරීමකදී පැමිණිල්ල සම්පූර්ණ කළ යුතු කරුණු වන සත්‍යතාව, නිරවද්‍යබව, විමර්ශනයක් කිරීම සහ එම කරුණු අනුව විධිමත් ලෙස නඩු පැවරීමක් සිදුව ඇති නිසා මූලික විරෝධතා ප්‍රතික්ෂේප කර නඩුව ඉදිරියට පවත්වාගෙන යන ලෙස ඉල්ලා සිටියාය.

අල්ලස් හෝ දූෂණ කොමිසම් සභාවේ බී. ආර්. අනුරාධා ජයසිංහ (සහකාර අධ්‍යක්ෂ – නීති) බී. ඩබ්. එම්. උදාරි එම්. කුමාරිහාමි (සහකාර අධ්‍යක්ෂ – නීති) මහත්මීහු පැමිණිල්ල මෙහෙයවූහ. පළමු විත්තිකරු වෙනුවෙන් නීතිඥ රංජිත් හිල්ලගේ හා දෙවැනි විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස සමඟ කිංකිණි නෙල්සන්, නිරංජන් ඊරියගොල්ල, නිරෝද සිල්වා යන නීතිඥ මහත්ම මහත්මීහු පෙනී සිටියහ.

No comments:

Post a Comment


Pages