කොස්ගොඩ පොලිසියේ කොස්තාපල් පනාපිටියගේ වැඩ තහනම් කිරීම - Susanda Media Network With Web Radio

Susanda Media Network With Web Radio

සුසඳ පුවත් පත සහ වෙබ් ගුවන් විදුලිය සමගින් සයිබර් අවකාශය සිසරා ඔබේ හදවතට

උණුසුම් පුවත්

radio

Post Top Ad

Wednesday, January 31, 2024

කොස්ගොඩ පොලිසියේ කොස්තාපල් පනාපිටියගේ වැඩ තහනම් කිරීම

ASP ඇතුළු පොලිසියේ 4කට පෞද්ගලික මුදලින් ලක්ෂ 20ක් ගෙවන්න නියෝග



කොස්ගොඩ පොලිසියේ සේවය කළ පොලිස් කොස්තාපල් පී.ඩී.ඒ. පනාපිටිය මහතාට එරෙහිව බොරු නඩු පවරා ඔහුගේ වැඩ තහනම් කර, ඔහුගේ බිරිය අත්අඩංගුවට ගෙන රඳවාගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 20ක වන්දි මුදල් සිය පෞද්ගලික මුදලින් ගෙවන ලෙස එවකට අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරිවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් සිව් දෙනකුට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (31) නියම කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන් කිහිප දෙනකු නිදහස් කරන ලෙස කළ බලපෑම් නොසලකා ඒ සම්බන්ධ විමර්ශන දිගටම සිදු කිරීමට පළි ගැනීමක් ලෙස පොලිස් කොස්තාපල්වරයාට මෙසේ බොරු නඩු පවරා ඇතැයි පෙත්සමේ සඳහන් විණි. අදාළ සිද්ධිය මඟින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කරමින් එවක අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරී යූ.එම්. අමරසිරි, එවක කොස්ගොඩ පොලිසියේ ස්ථානාධිපති මංගල ද සොයිසා අමරසේකර, එම පොලිසියේ අපරාධ අංශය භාර ස්ථානාධිපති අසේල ප්‍රේමනාත් ද සිල්වා සහ පොලිස් සැරයන් ඉන්දික ද සිල්වා යන නිලධාරීන්ට මේ නියෝගය කරන ලදි. ඒ වන්දි මුදල් ඊයේ සිට මාස 6ක කාල සීමාවක් ඇතුළත ඔවුන් සියලු දෙනා එක්ව ඔවුන්ගේ පෞද්ගලික මුදල්වලින් ගෙවා අවසන් කරන ලෙස නියම කළේය. මේ සිද්ධිය වෙනුවෙන් රජය විසින් රු. 25,000ක වන්දියක් එම පොලිස් කොස්තාපල්වරයාට ගෙවිය යුතු බවටද නියම කෙරිණ. එසේම මෙම සිද්ධියට වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මේ නඩු තීන්දුවේ පිටපතක් ජාතික පොලිස් කොමිසම වෙත යොමු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර් වරයාට නියම කෙරිණි.

මේ සිද්ධියට එරෙහිව පොලිස් කොස්තාපල්වරයා හා ඔහුගේ බිරිය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් පිළිබඳ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එහි තීන්දුව ප්‍රකාශ කරමින් මේ නියෝග කරන ලදි.

එසේම පෙත්සම්කාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැනීම, අසත්‍ය නඩු පැවරීම සහ ඔහුගේ වැඩ තහනම් කිරීම තුළින් වග උත්තරකාර සහකාර පොලිස් අධිකාරිවරයා ඇතුළු නිලධාරින් ද්වේෂ සහගත ආකාරයෙන් කටයුතු කරමින් සිය නීත්‍යනුකූල බලය ඉක්මවා කටයුතු කර ඇති බවත් අධිකරණය විසින් තීන්දු කරන ලදි.

ජනක් ද සිල්වා, ප්‍රීති පද්මන් යන විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් යුතු නඩු තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශයට පත් කළේය. මහ ජනතාවගේ ආරක්ෂාව භාරව පොලිසිය කටයුතු කරන අතර නීතියේ ආධිපත්‍යය පවත්වාගෙන යෑම සහ තහවුරු කිරීමේ බලය පොලිසිය වෙත පැවරී තිබෙන බව නඩු තීන්දුවෙහි සඳහන් වේ. පොලිසියේ එම වගකීම ප්‍රශ්න සහගත බව මෙම පෙත්සම් විභාගයෙන් පෙනී යන බව විනිසුරු මඬුල්ල අවධාරණය කර තිබේ.

කොස්ගොඩ පොලිසියේ සේවය කළ පොලිස් කොස්තාපල් පී.ඩී.ඒ. පනාපිටිය කොස්ගොඩ පොලිසියේ සේවය කරමින් සිටියදී එම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් පිරිසක් අත් අඩංගුවට ගෙන විමර්ශන සිදු කර ඇත. විමර්ශන සිදු නොකර ඒ සැකකරුවන් නිදහස් කරන ලෙස වග උත්තරකාර පොලිස් නිලධාරීන්ගෙන් පෙත්සම්කරුට බලපෑම් එල්ල කළ නමුත් ඊට අවනත නොවී පෙත්සම්කරු ඒ විමර්ශන දිගටම සිදු කිරීම නිසා

සහකාර පොලිස් අධිකාරිවරයා ඇතුළු වගඋත්තරකරුවන් ඔහු සමග සතුරුකමක් ඇති කරගත් බවත් පෙත්සම් විභාගයේදී අනාවරණය වූ බව නඩු තීන්දුවෙහි සඳහන් වේ. ඊට පළි ගැනීමක් ලෙස 2021 වසරේ නොවැම්බර් 2 දා සිය නිවෙසට ගිය වග උත්තරකාර පොලිස් නිලධාරීන් තම බිරිය මාස 9ක් වයසැති දරුවාත් සමඟ අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන ගිය බව පෙත්සම්කරු සඳහන් කර තිබිණි. අනතුරුව ඔවුන් පැය 5ක පමණ පොලිසියේ රඳවාගනිමින් තමා මත්ද්‍රව්‍ය පානය කරන පුද්ගලයකු බවට ඇයගෙන් ප්‍රකාශයක් ගැනීමට උත්සාහ කළ බවත් පෙත්සම්කරු කියා සිටියේය. මේ පිළිබඳ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමෙන් අනතුරුව ඇය මුදාහැරීමට කටයුතු කෙරුණු බවත් පෙත්සමේ සඳහන් විය.

අනතුරුව 2021 වසරේ නොවැම්බර් 3 දා වගඋත්තරකාර පොලිස් නිලධාරීන් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කරමින් පෙත්සම්කරු මත්ද්‍රව්‍ය පානය කරන බවට දැනුම් දී ඇත. අනතුරුව ඔහුගේ වැඩ තහනම් කර ඇත.

අනතුරුව අධිකරණයට භාර වූ තමා ඇප මත මුදාහැරීමට තීන්දු කළ අතර, තමා මත්ද්‍රව්‍ය පානය කරන් අයෙක්ද? යන්න තහවුරු කරගැනීම සඳහා අධිකරණ වෛද්‍ය වාර්තාවක් හා රජයේ රස පරීක්ෂක වාර්තාවක් කැඳවීමට මහේස්ත්‍රාත්වරයා කටයුතු කළ බවත් පෙත්සම්කරු විසින් සදහන් කර තිබිණි.

ඔහු මත්ද්‍රව්‍ය පානය කරන පුද්ගලයකු නොවන බව එම අධිකරණ වෛද්‍ය වාර්තාව හා රජයේ රස පරීක්ෂක වාර්තාව මඟින් කරුණු අනාවරණය කර තිබුණු අතර ඒ අනුව 2022 වසරේ මාර්තු 9 දා පෙත්සම්කරු මේ චෝදනාවලින් නිදහස් කර ඇති බව පෙත්සම් විභාගයේදී අනාවරණය වී ඇත.

මෙකී කරුණු සියල්ල සලකා බැලූ විනිසුරු මඬුල්ල පෙත්සම්කරුගේ බිරිය සහ ඔහුගේ මාස 9ක් වයස ඇති දරුවා කිසිදු සාධාරණ හේතුවක් නැතිව අත්අඩංගුවට ගෙන පැය 5ක කාලයක් පොලිස් ස්ථානයේ රඳවාගැනීම හේතුවෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කළේය. එසේම වගඋත්තරකාර පොලිස් නිලධාරීන් විසින් පෙත්සම් කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවටද අධිකරණය තීන්දු කළේය.

No comments:

Post a Comment


Pages